September 27, 2016

ජාතිවාදීන් ගැන නලීන්ගෙන් අලුත් සූත්‍රයක්

ජාතිවාදීන් ගැන නලීන්ගෙන් අලුත් සූත්‍රයක්
මෙරට තුළ ජාතිවාදය අවුලන පුද්ගලයින් කිහිපදෙනෙකු V2 + U = 0 ලෙස හඳුන්වාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියාසිටියේ අද (27) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ V2 + U = 0 යන සූත්‍රයෙහි V යනු විග්නේෂ්වරන් මහතා බවත්, U යනු උදය ගම්මන්පිල මහතා බවත් මොවුන්ගේ එකතුව 0 ලෙස සැලකිය හැකි බවත්ය.

විග්නේෂ්වරන් මහතාගේ ජාතිවාදි ප්‍රකාශ එජාපය තරයේ හෙළාදකින බව‍ද විග්නේෂ්වරන් මහතා යනු වාසුදේව මහතාගේ මස්සිනා බවද කියා සිටි ඒ මහතා උතුරේ මහඇමති වී කොළඹ සිටින විග්නේෂ්වරන් මහතා වාසුදේව මහතා සමග කෝපි බොමින් ජාතිවාදි කුමන්ත්‍රණ සිදුකරන බව කියාසිටියේය.

මොවුන් දෙන්නා එක්ව උතුරේ හා දකුණේ ජාතිවාදය අවුලවන්නට කුමන්ත්‍රණ කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ කල්ලියටද ජාතිවාදයෙන් තොර ගොඩ ඒමක් නැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ වත්මන් රජය කිසිවකු ඉදිරියේ දණ නොනමා ඕනෑම අයෙකුට සවන්දීමට සූදානම් බවත් තරවටු කිරීමෙන් හෝ බයකිරීමෙන් ඉල්ලීම් දිනාගැනීමට හැකියාවක් නොමැති බවත්ය.