October 14, 2016

මාස 7කට පසු පොළොන්නරුවට මහ වැසි

මාස 7කට පසු පොළොන්නරුවට මහ වැසි
මාස ගණනාවක් පුරා පැවති නියගය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (13) වැසි ඇද හැලුණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව පළාත්වලට මෙලෙස වැසි ලැබුණු බවයි. 
නියගයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ද ඊයේ දිනයේ වැසි ලැබී තිබේ.
කදුරුවෙල, මින්නේරිය, මැදිරිගිරිය, දියසෙන්පුර හා වැලිකන්ද යනාදී ප්‍රදේශවලට ද ඊයේ වැසි ලැබුණු බව වාර්තා වේ.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා සදහන් කළේ අද (14) දිනයේදීත් දිවයිනේ නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලී තත්ත්වයන් පවතින බවයි. 
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, උතුර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල තැනින් තැන සවස 02 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පසුව එම වැසි සෙසු පළාත්වලට පැතිර යාමේ හැකියාවක් පවතින බව ද ඒ අනුව බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්වල උදෑසන කාලයේදී වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව කියාසිටී.