ශ්‍රී ලංකාවේ ණය අර්බුදයේ ප්‍රමාණය පිළිබඳව කිසිවකුත් නොදන්නා බව අන්තර්ජාතික forbes සඟරාව මඟින් පෙන්වා දී ඇත.
මේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ණය බර ඇමෙරිකන් ඩොලර් බිලියන 64.9කි. ඉන් ඩොලර් බිලියන 8ක් චීනයට ගෙවිය යුතුය. මේ වාර්තාව තවදුරටත් පෙන්වා දෙන ආකාරයට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 75%ක් ණය සඳහා යොදවන බවත් රටේ ආදායමෙන් 95.4%ක් වෙන් වන්නේද ණය ගෙවීමට බවත් මේ වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය ආණ්ඩුවේ ක්‍රියා කලාපය හුවා දක්වමින් මේ වාර්තාව පෙන්වා දෙන්නේ පැවැති රජය ණය ලබා ගැනීමේදී රාජ්‍ය දේපළ අවභාවිත කර ඇති බවයි. මුදල් අමාත්‍යාංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් මෙවැනි ණය ලබා ගැනීම් කොතෙක්දුරට සිදුවී ද යන්න පැහැදිලි කිරීමක් කළ නොහැකි බවද මේ වාර්තාව මඟින් අවධාරණය කරයි.
ෆෝබ්ස් සඟරාවට අනුව මේ ණය වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඉදිකෙරුණු අධික වියදම් සහිත විශාල ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා බවත් 2009 සිට 2014 යන කාලය අතරතුර රජයේ මුළු ණය ප්‍රමාණය තෙගුණයක් වී ඇති අතර බාහිර ණය දෙගුණයක් බවට පත් වී ඇත්තේ ලෝකයේ හුදකලාම ගුවන්තොටුපොළ වැනි අධික වියදම් සහිත නිෂ්ඵල ව්‍යාපෘති සඳහා මුදල් වැය කිරීම නිසා බවයි.
එමෙන්ම මේ වියදම් අතරට වැඩිම වියදමක් දරා ඉදිකළ අධිවේගී මාර්ග සහ ඩොලර් මිලියන 42ක වියදමින් හම්බන්තොට වරායේ භූගත ගලක් ඉවත් කිරීම අයත් වන බව දත්ත උපුටා දක්වමින් මේ වාර්තාව පෙන්වා දෙන්නේ මේ වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.5ක් ගෙවිය යුතු අතර ලබන වසරේදී ඩොලර් බිලියන 4ක් ගෙවිය යුතු බවයි.
මේ වාර්තාව සකසා ඇත්තේ ඉමර්ජින් මාර්කට්ස් ඉන් ඒෂියා ග්‍රන්ථයේ කර්තෘ වේඩ් ෂෙපර්ට් නම් ෆෝබ්ස් සඟරාවට වාර්තා සපයන්නෙකි.