October 3, 2016

නංගිගෙ ප්‍රේමය මළ ගෙවල් දෙකක් කළ නරුම අයියණ්ඩි

nimesha
දිනය 2016 07 වැනි මස 23 වැනිදාය. වේලාව උදෑසන 10.30 කණිසමද පසුවෙමින් පැවැතිණි. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ පැවැතියේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකි. මහනුවර සිට මාතර බලා ධාවනය වන දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය වේදිකාවේ බලා සිටි සෙනඟ අතර නිමේෂා සහ සංකල්ප රැඳී සිටියේ ටියුෂන් පන්තියකට සහභාගි වී නිවෙස්වලට යෑම බලාපොරොත්තුවෙනි. නිමේෂා සහ සංකල්පගේ් ආදරය පටන්ගෙන ඒ වනවිට මාස හතකටත් වැඩි කාලයක් ගත වෙමින් තිබිණි. නිමේෂාගේ තාත්තා සහ අයියලාගේ දාමරිකකම් හමුවේ තිගැස්සී සිටි මෙම පෙම් යුවළ පන්තිය නිමා වී කතා බහ කළේද සිය ඥාතීන් හෝ හඳුනන අය නොගැවසේ යැයි විශ්වාස කළ අම්බලන්ගොඩ දුම්රිය නැවැතුම්පොළට ගොස්ය.
ටී. එච්. නිමේෂා මධුමාලි ද සිල්වා 16 හැවිරිදි යෞවනියක වූ අතර ඇය අම්බලන්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේ පදිංචි වී සිටියාය. අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ගාමිණී විද්‍යාලයේ 11 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලද නිමේෂා සහෝදරයන් දෙදෙනකුගේ සහ සහෝදරියන් දෙදෙනකුගේ බාලම නැඟණිය වූවාය. එම නිවෙසේ විසූ කටකාර දඟකාර හුරතලිය වූ නිමේෂාට කවුරුත් ඇමතුවේ ‘ජිම්බෝලේ’ යනුවෙනි. නිමේෂාගේ අයියලාගේ තරමක් දරදඬු ක්‍රියා කලාපය හමුවේ නිතැතින්ම අයියලාට භීතියකින් විසූ නිමේෂා අයියලාට දැනෙන්නට කිසිදු වරදක් කිරීමට බිය වූවාය. ඇයගේ දෙවැනි සොහොයුරා වූ තේනාහන්දි සමිත සංජීව යුද හමුදාවේ සේවය කර ඉවත්ව සිටි අයකු වූ අතර 25 හැවිරිදි විවාහක මෙම සහෝදරයාට නිමේෂා අසීමිත බියක් දැක්වූවාය.
රඹුක්කන ප්‍රදේශයෙන් විවාහ වී සිය බිරියට අයත් රඹුක්කන නිවෙසේ විසූ සමිත සංජීව නොහොත් නිමේෂාගේ දෙවැනි අයියාට ගෙදර අය ඇමතුව් ‘චුට්ටේ’ යනුවෙනි. රඹුක්කන සිට නිමේෂාගේ අම්බලන්ගොඩ නිවෙසට චුට්ටේ බොහෝ කලක් නොපැමිණි නිසාවෙන් නිමේෂා සිය 17 හැවිරිදි පෙම්වතා වූ එච්. ජී. සංකල්ප ප්‍රභාත් මධුරංග සමඟ නිදහසේ අම්බලන්ගොඩ නගරයේ රැඳී සිට කතා බහ කරන්නට වූයේ ටියුෂන් පන්ති යන අතරතුරදීය.
මාස 06ක කාලයක් රඹුක්කන සිට අම්බලන්ගොඩ සිය නිවෙසට නොපැමිණි සමිත සංජීව ඉකුත් ජූලි 23 වැනිදා උදෑසන මහනුවර සිට මාතර බලා යන දුම්රියට ගොඩවන්නේ අම්බලන්ගොඩ පිහිටි සිය මහ ගෙදරට ඒමේ අරමුණ ඇතිවය. දෛවෝපගතව සිදුවූ මෙම අහඹු සිදුවීම එසේ වෙද්දී නිමේෂා සහ සංකල්ප කතා බහ කිරීමට වැඩි ආරක්ෂාව සඳහා අම්බලන්ගොඩ දුම්රියපොළට ගොඩ වූයේ සැනසුම් සුසුමක් හෙළමිනි. මහනුවර සිට මාතර බලා ධාවනය වන දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොළට ළඟා වන ආකාරය දෙදෙනාම දුටුවේය.
රඹුක්කන සිට අම්බලන්ගොඩ පුරවරයට පැමිණි සමිත අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොළට ආසන්න වෙද්දී දුම්රිය මැදිරියේ කවුළුවෙන් පිටත දෙස බලාගෙනම සිටියේ සිය අම්බලන්ගොඩ මිතුරන් කිසිවෙක් සිටී දැයි විමසිල්ලෙනි. එහෙත් සිදු වූයේ ඔහු නොසිතූ නොපැතූ දෙයකි. සමිතගේ නෙතට හසුවූ එක් දසුනකින් ඔහුගේ ඉහ මොළ රත් විය. දෙනෙත් පුරා කෝපය දලුලන්නට විය. ඔහු දුටුවේ සිය බාල නැඟණිය කිසියම් තරුණයකු සමඟ දුම්රිය නැවතුම්පොළේ පෙම් බස් ‍ෙදාඩමින් සිටි ආකාරයයි. ඒ වන විටත් දුම්රියේ තිරිංග තද කොට කිලෝ මීටර් භාගයකට ආසන්න දුරක් ගොස් දුම්රිය අම්බලන්ගොඩ ස්ටේෂමේ නතර වීමටත් පෙර දුම්රියෙන් පැනගත් සමිත සිය නැඟණිය පෙම්වතකු සමඟ කතා කරමින් සිටි දෙසට දිව යන්නට වූයේ මරුවා වේශයෙනි.
අම්බලන්ගොඩ දුම්රිය වේදිකාවේ කඩිමුඩියේ දුම්රියට නැඟීමට පොරකන මගීන් අතරේ නිසොල්මන්ව ආදර වදන් තෙපළමින් සිටි සංකල්පටත් නිමේෂාටත් එයට තවදුරටත් දෛවයෙන් ඉඩකඩ ලබා නොදුන්නේය. මරුවා වේශයෙන් පැමිණෙන සිය දෙවැනි අයියා දුර තියාම දුටු නිමේෂාගේ හදවතේ ගැස්ම සිය දහස් ගුණයකින් වැඩි වන්නට වූවාය.
“අනේ සංකල්ප අයියේ….චුට්ටේ අයියා එනවා…..අනේ මං ඉවරයි”
සමිතගේ වියරු වැටී ගිය පැමිණීමට බියපත් වූ නිමේෂා බිඳ වැටුණු මනසින් අයියා පැමිණෙන දෙස බලා සිටියාය. පෙම්වතුන් අසලට පැමිණි ඔහු නිමේෂාගේ අතකින් අල්ලාගෙන අනෙක් අතින් සංකල්පගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලා ගත්තේය.
“යමල්ලා …….එහාට”
දුම්රියට නැඟීමට දිව යන මගීන් අතරෙන් අත් දෙකෙන් පෙම්වතුන් දෙදෙනා අල්ලා ගත් සමිත වියරුවෙන් දුම්රිය නැවතුම්පොළේ ඉදිරියට යමින් සිටියේය.
ඒ වනවිටත් අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොළේ නවතා තිබූ සමිත පැමිණි දුම්රිය මගීහු සියල්ලෝම පටවාගෙන ආපසු ගමන් කිරීම අරඹමින් සිටියේය. සිය අයියාගේ වම් අතට හසු වී සිටි සංකල්පගේ මුහුණ දෙස හොරැහින් බැලූ ඇය තමාට දකුණු පසින් මාතර බලා ධාවනය වීම ආරම්භ කර තිබූ දුම්රිය දෙසද හොරැහින් බැලුවේය. එකෙනෙහිම සිය සොහොයුරාගේ අත ගසා දමා දුම්රියට පැන්නේය. නිමේෂාගේ හිස කඳින් වෙන්ව යද්දී ඇයගේ සොහොයුරා සහ සංකල්ප පමණක් නොව අම්බලන්ගොඩ දුම්රියපොළේ සිටි ජනතාව තුළින්ද මහා විලාපයක් නැඟිණි.
අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොළේ රැස්ව සිටි පිරිස කෑ ගසමින් ඒ ස්ථානය වටා එක් රැස් වෙද්දී ඒ වන විටත් මහනුවර මාතර දුම්රිය නිමේෂාගේ ගෙල කඳින් වෙන් කර හමාරය. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් අතිෂය භීතියට පත් සංකල්ප සිය මිය ගිය පෙම්වතිය වූ නිමේෂාගේ අයියාගේ ග්‍රහණයෙන් මිදී දිව යන්නට විය.
“නංගීව එයාගෙ පෙම්වතා කෝච්චියට තල්ලු කරනවා මම දැක්කා” මිය ගිය නිමේෂාගේ අයියා පවසයි. යනුවෙන් ඊට පසු දින මාධ්‍ය හරහා මෙම අනුවේදනීය පුවත සමාජගත වූයේය. මිය ගිය නිමේෂාගේ අයියා විවිධ මාධ්‍යවලට එසේ සිය ප්‍රකාශය ලබා දුන්නේය.
කෙසේ වෙතත් මෙම අනුවේදනීය සිදුවීමෙන් පසු දින දෙකක් ගත වූවද කෝච්චියට යට වී මිය ගිය නිමේෂාගේ පෙම්වතා වූ සංකල්ප පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවිණි. බොහෝ අය පැවැසුවේ, තැන තැන කතා බහට ලක් වුයේ සංකල්ප සිය පෙම්වතිය දුම්රියට තල්ලු කොට එයට භීතියෙන් සැඟව සිටින බවයි.
ඉකුත් ජූලි මස 25 වැනිදා එනම් නිමේෂා දුම්රියට බිලි වී දින දෙකකට පසුව අම්බලන්ගොඩ කොබෙයිතුඩුව පන්සල පාර ප්‍රදේශයේ අතහැර දැමූ පොදු ළිඳක් අසල සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවකුට දුගඳක් දැනී ඔහු නිකමට මෙන් පොදු ළිඳට එබී බලා ඇත. දුටු දසුනින් බියට පත් වූ කුඩා දරුවා වහා නිවෙසට දිව ගොස් සිය මවුපියන්ට මේ පිළිබඳ පවසා ඇත්තේ පුදුමයෙනි.
“තාත්තේ….කොබෙයිතුඩුවෙ පාළු ළිඳේ මළ කුණක් තියෙනවා………..”
මෙම අනපේක්ෂිත පුවතින් කලබලයට පත් වූ නිවැසියෝ කුඩා දරුවාගේ හෙළිදරව්වට අනුව මෙම ළිඳ පරීක්ෂා කොට ඒ පිළිබඳව මීටියාගොඩ පොලිසියට දුනුම් දුන්නෝය.
වහා ක්‍රියාත්මක වූ මීටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක දිනේෂ් නිෂාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වහාම එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කළහ.
“පෙම්වතිය දුම්රියට තල්ලු කළා යැයි පැවසූ සංකල්ප නමැති තරුණයා කොබෙයිතුඩුව ප්‍රදේශයේ පාළු ළිඳකට පැන ජීවිතය හානි කර ගෙන ඇත”
මෙවැනි සිරස්තල ඇතුළත් පුවත් සමාජගත වූ අතර මිනිසුන් කතා කළේ ඇතැම් විට පෙම්වතිය දුම්රියට තල්ලු කර දින දෙකකට පසුව පෙම්වතාද ළිඳට පැන සිය දිවි හානි කර ගෙන ඇතැයි යන්නයි.
මෙම මරණයන් ද්විත්වය දෙස මුල සිටම සැක මුසු මුහුණින් බැලූ මීටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මියගිය නිමේෂාගේ සොහොයුරන්, සොහොයුරියන් සහ මවුපියන් ගෙන්වා මේ පිළිබඳව පරීක්ෂණ, නිරීක්ෂණ සිදු කළේය. එහිදී පොලිස් ඇසට සැක මුසු තැන් කිහිපයක්ම හසු වූයේය. මිය ගිය නිමේෂාගේ නිවැසියන් ඔවුන් භාවිත කළ දුරකතන අංක පොලිසියෙන් වසන් කොට විස්තර සඟවා කට උත්තර දීමක් සිදු කළ අතර මිය ගිය නිමේෂාගේ පෙර කී සෙහොයුරා වන සමිතද මාධ්‍යයට පැවැසූ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් කතාවක් පොලිසිය හමුවට ඉදිරිපත් කළේය.
“සර්…………මම බයට සර් කිව්වේ ඒ කොල්ලා නංගිව කෝචිචියට තල්ලු කළා කියලා. නංගි කෝච්චියට පැන්නා සර්. ඒ දුකට වෙන්නැති සංකල්පත් ළිඳට පැනලා මැරෙන්න ඇත්තේ”
එදිනට පරීක්ෂණ නිමා වුවද පොලිසියේ උකුසු ඇස නිරන්තරයෙන්ම යොමු වී තිබුණේ සමිත නමැත්තා වෙතටයි. ඔහු අම්බලන්ගොඩ නිවෙසින් නැවතත් රඹුක්කනට ගොස් ඇති අතර මීටියාගොඩ පොලිසිය මිය ගිය නිමේෂාගේ සහ සමිත නමැති ඇයගේ සොහොයුරාගේ බිරියගේ දුරකතන අංක වාර්තා සූක්ෂ්මව පරීක්ෂා කළේය. එහිදී අනාවරණය වූයේ ඉකුත් 23 වැනිදා එනම් නිමේෂා කෝච්චියට බිලි වූ දා රඹුක්කන සිට සමිත සමඟ තවත් අයෙක් අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොළට එම දුම්රියේම ඇවිත් ඇති බවයි. සමිතගේ නැඟණිය දුම්රියට බිලි වී එවැනි විනාශයක් සිදු වී තිබියදීත් එම දෙවැනි පුද්ගලයා එදිනම නැවතත් සවස 4.00ට රඹුක්කන බලා ගොස් ඇති බවද පොලිසිය අනාවරණය කර ගත්තේය. මෙවැනි විනාශයක් සිදු වී තිබියදී එදිනම සවස එම දෙවැනි පුද්ගලයා නැවතත් රඹුක්කන බලා ගියේ ඇයි? මේ පිළිබඳ උපන් බලවත් සැකය හමුවේ මීටියාගොඩ පොලිසිය මිය ගිය නිමේෂාගේ සොහොයුරා වන සමිත නමැත්තා රඹුක්කනදී අත්අඩංගුවට ගත්තේය.
එහිදී මාස දෙකක් පුරා සමාජයෙන් සැඟ වී තිබූ මහා අපරාධයක සුල මුල මීටියාගොඩ පොලිසියට සොයා ගැනීමට හැකි වූ අතර සමිත නමැත්තා සියල්ල පාපෝච්චාරණය කළේ ඉන් අනතුරුවය.
“මට නංගිගෙ ලව් එක ෆෝන් එකෙන් අහු වුණා සර්….මම මීට කලින් එක දවසක් ඔය කොල්ලයි අපේ නංගියි දෙන්න කතා කර කර ඉන්නවා දැකලා ළඟටම ගිහින් ඇහුවා ලව් එකක් තියෙනවද කියලා දෙන්නා අතරේ. කොල්ලා නෑ කිව්වා. මගේ නංගිත් නෑ කිව්වා. මං කිව්වා දිවුරන්න කියලා එහෙනම්. තාත්තා පල්ලා ලව් එකක් නෑ කියලා නංගි මගේ ඉස්සරහා දිවුරුවා. තාත්තා ගැන එහෙම බොරුවට දිවුරන්න පුළුවන්ද සර්………..”
එදා මම රඹුක්කන ඉඳන් ආවෙ වයිෆ්ගේ අක්කා බැඳපු මස්සිනා තිලක් එක්ක. එදා නංගි මගේ අත අතෑරලා කෝච්චියට පැන්න වෙලාවෙ අර කොල්ලා බයේ දිව්වා සර්. මම නංගිගෙ බොඩි එක ස්ටේෂන් එකේ එහෙමම තියෙද්දි ටවුන් එක පීරලා ඒ කොල්ලව හෙව්වා. ඊට පස්සේ මම දැක්කා ඒ කොල්ලා අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එකේදි බටපොළ බස් එකකට නැඟලා ඉන්නවා. මම මස්සිනා එක්ක ඒ බස් එකට නැඟලා මාමගේ පුතකුට කෝල් එකක් දුන්නා ත්‍රීවීල් එක අරගෙන කොබෙයිතුඩුවට එන්න කියලා. ඊට පස්සේ කොල්ලව බය කරලා නිහඬව බස් එකෙන් බස්සවා ගත්තා. ත්‍රීවීල් එකට දාගෙන හයියෙන් සෙට් එක දාගෙන කොල්ලගේ කට ලේන්සුවෙන් වහගෙන අර පාළු ළිඳ ගාවට එක්කන් ගියා.
තිලක් කලින් මිනියක් මරපු කෙනෙක්. එයා කිව්වා පාරක්වත් ගහන්න එපා එහෙම වුණොත් අහුවෙනවා කියලා. ඊට පස්සේ අපි කොල්ලාගේ ෂර්ට් එකෙන් අල්ලලා අර පාළු ළිඳේ ගිල්ලලා මැරුවේ. මුලින් දැඟලුවා. උඩට වතුර බුබුළු දැම්මා. ඔළුවෙන් වතුරෙ ඔබාගෙන ඉඳලා මැරුණට පස්සේ ළිඳේ දාලා ආවා.”
මාස දෙකක කාලයක් සිය දිවි නසා ගැනීමක් යැයි සමාජයේ කතා බහට ලක් වූ බටපොළ පදිංචි සංකල්ප ඝාතනයට ලක් වූයේ ඒ ආකාරයට බව ප්‍රධාන සැකකරුගේ පාපෝච්චාරණයෙන් හෙළි වූයේ ඒ ආකාරයටය.
මීටියාගොඩ පොලිසිය මිය ගිය නිමේෂාගේ අයියා පිළිබඳ ප්‍රබල සැකයකට අවතීර්ණ වූයේ සිදුවීම් කිහිපයක් හේතු කොට ගෙනය. එනම් ඝාතනයට ලක්වූ සංකල්ප තරුණයා සමිත නමැත්තාට බියෙන් අම්බලන්ගොඩ බළපිටිය බසයට ගොඩවූ විටදී ඔහුට සොහොයුරියගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබිණි. හෙතෙම ඇයට පවසා ඇත්තේ “මේ බස් එකේ එන ගමන්” යනුවෙනි. එසේ පැවැසූ සංකල්පගේ අබිරහස් දේහය දින දෙකකට පසු පාළු ළිඳකින් හමු වූ අතර ඒ වනවිටත් සංකල්පගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් නිමේෂා මිය ගිය දිනයේම මෙම සාහසික ඝාතනය සිදු වූ බවට පොලිසිය සැක කළේය.
දේහය සොය ගත් පාළු ළිඳ අසලට බළපිටිය මහෙස්ත්‍රාත්වරිය පැමිණ පරීක්ෂණ සිදු කළාය. අඩි පහක් පමණ ගැඹුරු වූ එම ළිඳෙහි පුද්ගලයකුට ගිලී මිය යෑමට තරම් ජලය නොමැති බව එහිදී තීරණය වූ අතර කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හරහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. එහිදී මරණයට හේතුව ලෙස විවෘත තීන්දුවක් දුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා පොලිසියට පරීක්ෂණ දියත් කිරීම සඳහා යම් අනාවරණයන්ද ඉස්මතු කළේය.
කෙසේ වෙතත් මෙම ප්‍රධාන සැකකරු සිය නැඟණියගේ කඳින් වෙන්වූ හිසත්, දේහයත් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේම තිබියදී කෙටි වේලාවක් තුළ ඇයගේ පෙම්වතා ඝාතනය කොට යළිත් එම ස්ථානයට පැමිණ ඇති බව හෙළි වී ඇති කරුණකි. ප්‍රධාන සැකකරුගේ මස්සිනාද එදිනම රඹුක්කන බලා ගොස් ඇත්තේ සංකල්ප නමැති තරුණයා ඝාතනය කිරීමෙන් අනතුරුව බව මේ වනවිට හෙළි වී ඇති තවත් කරුණකි.
මාස දෙකක කාලයක් නිහඬව පැවැති මෙම අබිරහස් ඝාතනයේ සුල මුල අළු යට සැඟවී තිබූ ගිනි පුපුරු සේ මතු කර ගත් මීටියාගොඩ පොලිසිය පවසන්නේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ අතර සැකකරු තවමත් සඟවන යම් දෙයක් ඇති බව හැඟෙන බවයි.
“අපි කේස් එක මෙතනින් නතර කළේ නැහැ. තාමත් පරීක්ෂණ කරනවා” මීටියාගොඩ පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු “මව්බිමට” පැවැසුවේ එලෙසිනි.
මෙම කුරිරු ඝාතනයට සම්බන්ධ බව පැවැසෙන තේනාහන්දි සමිත සංජීව නැමැති ප්‍රධාන සැකකරුද, තිලකපුර පදිංචි තොම්ම්‍යාධුර සුමිත් සංජීව, හෙට්ටි ආරච්චිගේ සමීර දිසානායක යන සැකකරුවන්ද පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් බළපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් ලූෂන් වඩුතන්ත්‍රි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
කෙසේ වෙතත් නිමේෂාගේ සෙහොයුරා රඹුක්කන සිට අම්බලන්ගොඩ බලා පැමිණෙන විට ඔහු සමඟ පැමිණි තිලක් මේ වන විටත් පොලිස් ඇසින් සැඟ වී ඇති බව වාර්තා වේ. මීටියාගොඩ පොලිසිය එකී සැකකරු අත්අඩංගුවට ගැනීමට කිහිප වතාවක්ම උත්සාහ කර ඇතත් සැකකරු සැඟ වී සිටින බවද වාර්තා වේ. මීටියාගොඩ පොලිසිය පවසන්නේ එම සැකකරුද නීතියේ රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම මේ වනවිටත් ක්‍රියාත්මක බවත්ය.
මෙම සූක්ෂ්ම සාහසික ඝාතනයේ සුල මුල හෙළිකර ගැනීමේ මෙහෙයුම මීටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත උ.පො.ප. ජනක සම්පත්, උ.පො.ප. ජෙයා ප්‍රසන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. පොලිස් කොස්තාපල්වරුන් වන පුෂ්පකුමාර (59032) , රත්නායක (34529), රංජිත් (58954), නලීන් (72647), සුරංග (74643), හෙට්ටිආරච්චි (28542), පො.කො.රි. කාවින්ද (80450) යන නිලධාරීහු මෙම මෙහෙයුමේ පරීක්ෂකයෝ වූහ.
මව්බිම