October 3, 2016

එට්‌කා අත්සන් කිරීම ලබන මාර්තුවේ?


එට්‌කා අත්සන් කිරීම ලබන මාර්තුවේ?
ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) අත්සන් තැබීම ලබන වසරේ මාර්තු මාසයේදී සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

රජය මුලින් ප්‍රකාශ කර තිබුණේ එම ගිවිසුමට මේ වසර අවසානයේදී අනිවාර්යයෙන්ම අත්සන් කරන බවයි. එහෙත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට බොහෝ පාර්ශ්වයන්ගේ එකඟත්වය ඇතිව මෙය අත්සන් කිරීමට දෙරට තීරණය කිරීම නිසා එට්‌කා සාකච්ඡා මේ වසර අග වන විට අවසන් කිරීමට දුෂ්කර වී ඇත. මේ නිසා ලබන වසර අගදී දෙරටේ විවිධ පාර්ශ්වයන්ගේ පුළුල් එකඟත්වය සහිතව මේ ගිවිසුම අත්සන් කෙරෙනු ඇත.

ගිවිසුමේ සාකච්ඡා සඳහා ඉන්දීය නියෝජිත පිරිසක්‌ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සාකච්ඡා සාර්ථකව පැවැති බව උපාය මාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා පවසයි. එම ඉන්දීය නියෝජිත පිරිසට නායකත්වය දෙන ලද්දේ ඉන්දීය වාණිජ කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මියයි. මීළඟ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලබන නොවැම්බර් මාසයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.