November 11, 2016

15වැනිදා බස් වර්ජනයක්?

15වැනිදා බස් වර්ජනයක්?
ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ හා තදාසන්න ප්‍රදේශවල බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
විජේරත්න මහතා කියාසිටියේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම නිසා එයට එරෙහිව මෙම වර්ජනය දියත් කරන බවයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 09 වැනිදා ජාතික වෘත්තීය සමිති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රය සංවර්ධනය නොවීම නිසා මෙලෙස අධික මාර්ග තදබදයක් ඇති වී තිබෙන බවත්, එයට විසඳුම් ලෙස තදාසන්න ප්‍රදේශවලට සුඛෝපභෝගී විදුලි මෙට්ට්‍රෝ බස් රථ සේවයක් රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙක ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු බවට රජයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.
ඒ අනුව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නියමු ව්‍යාපෘතියක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන බවත්, මෙම බස් සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක කරමින් රාත්‍රී නගර සංකල්පයක්ද රටට හඳුන්වාදීම හරහා පවතින මාර්ග තදබදය අවම කරගැනීමට හැකියාවක් පවතින බවද ඒ මහතා තවදුරටත් කියාසිටියේය.
එළඹෙන අප්‍රේල් මාසයේ සිට දිවයින පුරා පෙරගෙවුම් කාඩ්පත් අනිවාර්ය කරමින් බස් රථ තුළ මුදල් ගනුදෙනු අවසන් කිරීමට නියමිත බවත්, මේ හරහා බස් සේවකයන් 40,000කට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ ඒ මහතා තවද රාජගිරිය ප්‍රදේශයේ ඉදිකෙරෙන යකඩ ගුවන් පාලමේ කටයුතුවලදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ මහාමාර්ග අමාත්‍යාංශයට එරෙහිව අල්ලස් හෝ දූෂණ, චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටද තම සංවිධානය කටයුතු කරන බව පැවසීය.