අම්පාර ( Ampara ) දමන පොලිස් වසමේ අලහේන පොසොන්පුර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනයට වැරදිකරු වූ අයෙකුට අද අම්පාර මහාධිකරණයේදී මරණීය දණ්ඩනය නියම කෙරුණා.
කුමාරසිංහ ආරච්චිලාගේ සමන්ත නමැති මේ වන විට 35 වන වියේ පසුවන පුද්ගලයෙකු වෙළඳසලක සිගරට් සහ දුරකථන කාඩ් පත් මංකොල්ලකෑමේ අරමුණින් වෙළඳසැල් හිමියෙකුවූ සුභසිංහ ආරච්චිලාගේ පියසේන නමැති 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුනා.
ඒ 2011 වසරේ පෙබරවාරි 25 වෙනිදා, එදින රාත්‍රී 8.30 ත් 10.30 ත් අතර කාලයේ මේ අපරාධය සිදුව ඇතැයි නඩු විභාගයේදී අනාවරණය වුණා.
වැරදිකරු වූ පුද්ගලයා වෙළඳසලට පැමිණ තට්ටු කරන ආකාරයත් අපරාධයෙන් පසු ඔහු අසල තිබු වතුර පයිපයකින් ඇඟ පත සෝදාගන්නා ආකාරයත් අසල්වාසීන් දැක තිබුණා.
එහෙත් මොහු අපරාධය සිදුකරන ආකාරය කිසිවෙකු දැක නොතිබුණු අතර පරිවෙශනීය ශාක්ෂි ඔස්සේ සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථකර තිබු නිසා විත්තිකරු වැරදිකරු කෙරුණා.
අම්පාර මහාධිකරණයේදී අද මෙම තීන්දුව ලබාදුන්නේ එවකට මෙම නඩුව විභාග කළ මේ වනවිට කුරුණෑගල සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විසිනි.
මරණීය දණ්ඩනය ලබාදීමට පෙර නිදහසට කරුණු ඇත්දැයි මහාධිකරණ විනිසුරුතුමා විත්තිකරුගෙන් විමසා සිටියා එහිදී ඔහු පැවසුවේ තමා වරදක් නොකළ බවයි.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා ඔහුට පැවසුවේ විත්තිකරු වැරදිකරු වන බව පරිවෙශනීය සාක්ෂි ඔස්සේ සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කර ඇති බවයි.
කැමතිනම් මේ පිළිබඳව අභියාචනයක්ද ඉදිරිපත් කළ හැකි බවද විනිසුරුවරයා අවසානයේදී ප්‍රකාශ කළා.
මීට අදාල DNA පරීක්ෂණ සිදුකර තිබුනේ ජින් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා විසිනි.