September 17, 2016

පළාත් සභාවටත් 25%ක කාන්තා නියෝජනයක්


පළාත් සභාව සඳහා 25%ක කාන්තා නියෝජනයක් හඳුන්වාදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳව පසුගියදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන අායතනවල ප්‍රතිසංස්කරණ රැසක් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමට විවිධ පාර්ශවවල අදහස් ලබාගන්න මම තීරණය කලා. මේ සාකච්ඡාව එහි එක් පියවරක්. වර්තමාන දේශපාලනයේ කාන්තා නියෝජනය සලකා බලනකොට 25%ක කාන්තා නියෝජනය අත්‍යාවශ්‍යයි. නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ මගේ බිරිඳ හෝ වෙනත් දේශපාලනඥයෙකුගේ බිරිඳ හෝ ඥාති කාන්තාවන් දේශපාලනයට පැමිණිය යුතුයි කියලා. එය අපේ ක්‍රම්වේදයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ වගේම දේශපාලනයට එන කාන්තාවන්ට විධිමත් පුහුණුවක් ලබාදිය යුතුයි. අපේ අමාත්‍යංශය යටතේ තියෙන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හරහා ඔවුන් පුහුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසීය.
මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ කාන්තාව දේශපාලනයේ නිරතවීම පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් සහ සිවිල් සංවිධානවල අදහස් ලබාගෙන කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටයි.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය, මැතිවරණ ක්‍රමවේද පිළිබඳ ජාත්‍යන්තර පදනමේ නිළධාරීන්, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී රෝසි සේනානායක ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.