October 16, 2016

කසිප්පු තිප්පොල වටලයි - ජාවාරම්කරු පැනයයි

කසිප්පු තිප්පොල වටලයි - ජාවාරම්කරු පැනයයි
මාදම්පේ - ගල්මුරුවලපල්ලෙකැලේ ප්‍රදේශයේ ලදු කැලෑවක් තුල ගෑස් භාවිතා කරමින් පවත්වා ගෙන ගිය කසිප්පු පෙරුම් පොළක් වැටලීමට මාදම්පේ පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත.
පසුගිය 14 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇත.
මාදම්පේ හරහා ගලා බසින කඩුපිටිඔයට ආසන්නයෙන් පිහිටි ඇල මාර්ගයක් ආසන්නයේ මෙම කසිප්පු පෙරුම් පොළ පවත්වා ගෙන ගොස් ඇත. පොලිස් නිලධාරීන් එම ස්ථානයට වැටලීම සදහා යන විට එහි සිටි සැකකරුවෙකු පලා ගොස් ඇත. ඔහු පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.
වැටලීම සිදු කළ කසිප්පු පෙරුම්පලේ තිබී නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් 10 ක්ලකසිප්පු නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 21600 ක් අඩංගු බැරල් 10 ක්, ප්ලාස්ටික් බැරල් 01 ක්, තඹ දගර 02 ක්, ගෑස් ලිපක්, හිස් ප්ලාස්ටික් කෑන් 22 ක් ඇතුළු උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගෙන ඇත. මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන කසිප්පු සූක්ෂම ලෙස පිටස්තර ප්‍රදේශ වලට බෙදා හැරීම සිදු කර ඇති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.
තම බාරයට ගෙන ඇති කසිප්පු, කසිප්පු නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ ඇතුළු සෙසු ද්‍රව්‍යයද, පලා ගිය ජාවාරම්කරුවා සම්බන්ධයෙන්ද තොරතුරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කරන බව මාදම්පේ පොලීසිය සදහන් කරයි.
හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.