October 26, 2016

සමථ මණ්ඩලයේ රිදී ජුබිලිය ලබන මසදී සැමරේ

සමථ මණ්ඩලයේ රිදී ජුබිලිය ලබන මසදී සැමරේ
අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින සමථ මණ්ඩල පිහිටුවා වසර 25 ක් පිරීම නිමිත්තෙන් ජාතික සමථ දින උත්සවය අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 09 වන දින පෙරවරු 9.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පණත යටතේ 1991 ජූලි මස 18 වන දින මුල්ම සමථ මණ්ඩලය වශයෙන් මොරටුව සමථ මූල මණ්ඩලය පිහිටුවා ඇති අතර මේ දක්වා වසර 25 ක කාලය තුළ දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සමථ මණ්ඩල 329 ස්ථාපිත කර තිබෙන අතර යුද්ධය හේතුවෙන් පීඩා විදි උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් ගැටළු විසදීම විශේෂ සමථ මණ්ඩල පහක් යාපනය කිලිනොච්ච්ය අනුරාධපුර ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටුවා ඇත.
අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව සුළු ආරවුල් විසදීම අරමුණු කොට ගෙන සමථ මණ්ඩල පිහිටුවා ඇති අතර ඒ තුළින් සමථ මුල බල ප්‍රදේශයේ සිදු වන ආරවුල්, චංචල හෝ නිෂ්චල දේපලවල සිදුවන ආරවුල්, ගිවිසුම් සම්බන්ධ ආරවුල් හා අධිකරණයේ නඩු නිමිත්තක් ඇති කරන වටිනාකම රුපියල් ලක්ෂ 5 කට අඩු ඕනෑම නඩු හෝ ණය ආරවුල් විසදීම සදහා සමථ මුල මණ්ඩල මගින් සිදු වන අතර මේ සදහා වසරකට පැමිණිලි 200,000කට අධික සංඛ්‍යාවක් යොමු වෙන අතර, එයින් 50%කට අධික ප්‍රමාණයක් සමථකරණය තුලින් විසදුම් ලබා දීමට සමථ මණ්ඩල කොමිෂන් සභාවට හැකි වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
සමථ මණ්ඩල ආරම්භයේදී රුපියල් 25000 ක් නොඉක්මන වන චංචල නිශ්චල දේපල ණයක් හෝ අලාභයක් ඉල්ලීමක් සම්බන්ධයෙන් ආරවුල් විසදීමේ මූල්‍ය වටිනාකම් සහිතව පැවතිය ද පසුව එම මූල්‍ය සීමාව රුපියල් දෙලක්ෂ පනස් දක්වා වැඩි වු අතර මේ වන විට එම වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් දක්වා වැඩි කර තිබේ.
දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සමථ මූල මණ්ඩල ස්ථාපිත කර තිබෙන අතර එම මණ්ඩලවල සමථකරුවන් 8000 ක් පමණ සේවය කරන අතර ඔවුන් ස්වේච්ඡාවෙන් සිදු කරනු ලබන සේවයට උපහාර දැක්වීමක් ලෙස 25 වන සමථ දින උත්සවය සංවිධානය කර ඇති බවත් ඒ සදහා සමථකරුවන් 1000 ක් පමණ සහභාගි වන බවත් සමථ මණ්ඩල කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී.