නිල්වලා ගඟේ සිටින විශාල කිඹුලන් crocodile කොටුකර ගැනීමට හොඳම අවස්‌ථාව දැන් උදා වී ඇතැයි නිල්වලා ගඟ අවට පදිංචි ජනතාව පෙන්වා දේ.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගඟේ ජල මට්‌ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබෙන මෙම අවස්‌ථාවේ කිඹුලන් කොටුකර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ නම් ඉන් ප්‍රතිඵල නෙළාගත හැකි බවයි.
මිනිස් ජීවිතයක් කිඹුලෙකුට බිලි වූ පසු මහා විශාල ඝෝෂා නගා කිඹුලන් අල්ලා ගන්නා බවට ඇතමුන් පම්පෝරි දෙසෑබෑවද ටික දවසකින් ඒවා යටපත් වී එම මෙහෙයුම් නතර වේ. මේ දිනවල නිල්වලා ගඟේ සිටිනා විශාල මිනීමරු කිඹුලන් බොහෝ ස්‌ථානවල ගං ඉවුරුවලට වී සිටින අයුරු හා දිය මතුපිටට පැමිණ විශාල කොට පාවෙන ආකාරයෙන් සිටින බවද ජනතාව පවසයි.
කිඹුල් පැටව් දහස් ගණනක්‌ද නිල්වලා ගඟේ සිටින අතර එම සතුන් ලොකු වූ පසු මෙම ව්‍යසනය තවත් තදින්ම දැකගන්නට හැකි බවත් ජනතාව පෙන්වා දේ.
ජනතාව ඉල්ලා සිටින්නේ මෙසේ නිල්වලා ගඟේ ශීඝ්‍රයෙන් බෝවන කිඹුලන් ටික වනෝද්‍යානවලට හා කිරල කැලේ ස්‌ථාපිත කරනවා යෑයි කියන කිඹුල් උද්‍යානයකටවත් ගෙන ගොස් දමන ලෙසයි.