January 24, 2020

2005 – 2015 බැඳුම්කර වලින් රජයට වූ පාඩුව රු. කෝටි 1047ක්

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාවේ ඇතැම් කොටස් අඩුවීමේ වගකීම කථානායකවරයාට පවරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළා.

ඊට පිළිතුරු දෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

“එතෙන්දි ඒගොල්ලො කිව්වා මහබැංකුවෙන් ලියුමක් දුන්නා කියලා, ඒ ලියුමෙ කියලා තියෙනවා කියලා ඇමුණුම් ටික දෙන්න නම් නීතිපතිවරයාගේ අනුමැතියක් අවශ්‍යයයි කියලා. එතැනයි ගැටළුව තියෙන්නෙ.

මම දැන් පළවෙනි වාර්තාව කියවන ගමන් මේ ඉන්නෙ. එක්සෙකටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකල් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා” යනුවෙන් පවසා සිටියා.

2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 689කට ආසන්න මුදලක් ලෙස ගණන් බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද මේ වනවිට අධිකරණය හමුවේ පවතී.

2015 සිදු වූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුවට එවකට පැවති රජය වගකිවයුතු සේම 2005 සිට 2015 දක්වා සිදුකර ඇති රුපියල් මිලියන 10,470ක් පමණ වූ රජයට සිදු වූ පාඩුවට එවකට ජනපති මෙන්ම අගමැතිවරයාද, මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාද වගකිවයුතු බව ජනතා අදහසයි