May 19, 2020

ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අවශ්‍ය මොහොතක්ද මේ ? නාමල් සහ යෝෂිත අසයි

ට්විටර් සටහනක් තබමින් ඔවුන් දෙදෙනා මේ සම්න්ධයෙන් සිය අදහස් පළකර සිටියා.

” ඕනෑම ක්‍රීඩාවක යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය වන නමුත් මෙවැනි අවස්ථාවක මෙය ප්‍රමුඛතාවයක් නොවිය යුතු බවයි” නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

” මහෙල් ජයවර්ධන මෙහිදී ඉස්මතු කර ඇති කරුණ ගැන ඉතා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුයි. මෙවැනි කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී බලධාරීන් සෑම පාර්ශවයක් සමග කරුණු සාකච්ජා කොට ඔවුන්ගේ මතය දැන ගැනීම වැදගත්” බව මෙහිදී හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන හිටපු රගර් ක්‍රීඩක යෝෂිත රාජපක්ෂ සඳහන් කර සිටියේ වර්ථමාන සෞඛ්‍ය අර්බුධය දෙස බලන විට ක්‍රිකට් පිටියක් ඉදිකිරිම වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අවශ්‍ය නොවන බවයි.



March 28, 2020

දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් අරඹයි


කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

මෙම කටයුත්ත කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම හා උපදෙස් මත අරඹා ඇති අතර මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා සිදු කරනු ලබයි. 

කොරෝනා වෛරස ව්‍යාතියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්යමණ්ඩලයේ සහයෝගය ද ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය සහිතව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් කෙටි කලක් තුළ ඉලක්කය සපුරාලීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කරයි.

March 19, 2020

ජනපති නන්දසේන නැවත ජනතාව මුලා කරයි..! ‘කටකතාවලට ණය කපන්න බෑ.. කෝ ගැසට් එක‘ – මුල්‍ය ආයතන ප්‍රධානීන් අසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ රටේ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා සහන ලබාදෙන බවයි. ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා ලබාගෙන ඇති ණය නැවත අයකර ගැනීම මාස හයකට අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් බැංකු හා මුල්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දෙන්නේ මෙවැනි බරපතල තීන්දු කටවචනයකට පමණක් සිදුකළ නොහැකි බවයි.

ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අදාල මුල්‍ය ආයතනවලින් විමසීමේදී මුල්‍ය ආයතන පවසා ඇත්තේ ගැසට් පත්‍රයක් හරහා නීත්‍යනුකූල ලෙස රජයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කරන තුරු තමන්ට කිසිවක් සිදුකළ නොහැකි බවයි පවසා තිබෙන්නේ.

‘කටකතාවලට ණය කපන්න බෑ, කෝ ගැසට් එක’ යනුවෙන් මුල්‍ය ආයතන ප්‍රධානීන් සෘජුවම සිය පාරිභෝගිකයන්ගෙන් විමසා සිටී.

මාස හයකට ණය ගෙවීම් අත්හිටුවා ජනතාවට සහන සලසා ඇති බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුව කැම්පේන් කරමින් සිටී. ඒ අතර ජනාධිපතිවරයාගේ තීරණය තුට්ටුවකට මායිම් නොකරමින් බැංකු හා මුල්‍ය ආයතන සුපුරුදු පරිදි ණය අයකර ගනිමින් සිටී. අවසානයේ කොරෝනාවෙන් බැටකන මහජනතාවට සිදුව ඇත්තේ ණයත් ගෙවා ආණ්ඩුවේ කැම්පේන් එකත් අසා තෘප්තිමත් වීමටයි.

March 15, 2020

පොහොට්ටුව දෙකඩ වෙයි… රතන හිමි ඇතුළු පිරිසක් වෙන්වෙයි…

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපීපෙණෙන වැඩකොටසක් සිදුකළ එවකට ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෙබවූ අතුරලියේ රතන හිමියෝ පොහොට්ටු පක්ෂයෙන් ඉවත්ව යන බව අද (14) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසූහ.

තමන් වහන්සේ බලාපොරොත්තු වූ ගමන පොහොට්ටු පක්ෂය තුළ නැති බවත් විශේෂයෙන් වසවිසෙන් තොර ගොවිතැන ගැන අද කිසිම කතාබහක් නැති බවත් ජනාධිපතිවරයා බලයට පැමිණ මාස දෙක ගතවනවිට සියලු බලාපොරොත්තු බිඳ වැටුණු බවත් රතනහිමයෝ පවසති.

රතනහිමියන්ගේ මෙම මාධ්‍යහමුවෙන් පසු මේ වනවිට, පසුගිය ජනාධිපතිවරණ සමයේ රතන හිමියෝ ජාතික වීරයෙකු ලා සැලකූ බොහෝ පොහොට්ටු සමාජජාල ක්‍රියාකරුවන් රතන හිමියන්ව දැඩි ලෙස විවේචනය කිරීමට පටන්ගෙන ඇති අයුර් දක්නට ලැබේ.

රතන හිමියන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අද පැති මාධ්‍ය හමුවකදී  හිටපු පාර්මේන්තු මන්ත්‍රී විමවීර දිසානායක මහතා පැසූවේ රන හාමුදුරුවෝ දැන් ගෙදර යායුතු බවයි.

March 4, 2020

Corona වෛරසය නිසා එංගලන්ත ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේදී අතට අත දී සුභ පැතීම් නොකරනු ඇත



Corona වෛරසය පැතිරීම හේතුවෙන් එංගලන්ත ක්‍රීඩකයින් එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී අතට අත නොදෙන බව නායක ජෝ රූට් පවසයි.

මෑතදී පැවතුන දකුණු අප්‍රිකානු සංචාරයේදී රූට්ගේ පාර්ශ්වයට ආමාශ ආශ්‍රිත රෝග සහ උණ ආබාධ ඇති විය.

ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් එංගලන්තය සෙනසුරාදා කටුනායකදී පැවැත්වෙන උණුසුම් තරග දෙකෙන් පළමු තරඟයට සහභාගී වේ.මෙම ටෙස්ට් තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වනු ඇත.

“දකුණු අප්‍රිකාවේ සංචිතය තුළ පැතිරී ඇති රෝගාබාධවලින් පසුව, සම්බන්ධතා අවම මට්ටමක තබා ගැනීමේ වැදගත්කම අපි හොඳින් දන්නා බව,” රූට් පැවසීය. "අපි නිතිපතා අත් සේදීම සහ ප්‍රතිශක්තිකරණ ඇසුරුම්වල අපට ලබා දී ඇති බැක්ටීරියා නාශක පිසදැමීම් සහ ජෙල් භාවිතා කරමින් මතුපිට පිස දැමීම් කරමින් ආරක්ශා වෙනවා."

රූට් එංගලන්තය සංචාරය සැලසුම් කළ පරිදි දිගටම කරගෙන යනු ඇතැයි අපේක්ෂා කරන නමුත් කණ්ඩායම බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන අතර උපදෙස් පරිදි ඉදිරියට යනු ඇත. චීනයේ ආරම්භ වූ වෛරසය හේතුවෙන් ක්‍රීඩා ඉසව් ගණනාවක් දැනටමත් කල් දමා ඇත. රටවල් 50 කට වැඩි ගණනක පුද්ගලයන් 86,000 ක් පමණ මේ වන විට ආසාදනය වී ඇති අතර එහි ප්‍රති 3,000 ලයක් ලෙස 3,000 කට අධික පිරිසක් මිය ගොස් ඇත.

තරඟ කාල සටහන

February 27, 2020

රජයට වාහන ගැනීම ජනපති විසින් නැවතූ බව කිව්වත් මිලියන 300ක වාහන ගන්න කැබිනට් අනුමැතිය




යහපාලන රජය සමයේ හඳුන්වාදුන් “මෙහෙයුම් කල්බදු” ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර.lk වෙත වාර්තා වේ. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.

කැබිනට් අනුමැතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වාහන ලබා ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 30කට අධිකයි. නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට “මෙහෙයුම් කල්බදු” ක්‍රමයට නව වාහන මිලදී ගැනීමට තීරණය කර ඇති බව අදාළ කැබිනට් සංදේශයේ සඳහන් කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් කුලී පදනම සහ මෙහෙයුම් කල්බදු පදනම අතර රජයට වාසි වන කිසිඳු පදනමක් නොමැති බවත් අවාසියක් සිදුවන කාරණා බොහොමයක් ඇතුළත් බවත් වාර්තා වේ. කුලී පදනම මත ගැනීමේ දී වාහනයේ මාසික කුලිය මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී ගෙවන මාසික කුලියට වඩා අඩුවන අතර මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන කුලියට ගැනීමෙන් එකම වාහනයට වැඩි මුදලක් ගෙවීමට රජයට සිදුවේ. මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ අනිවාර්යෙන්ම වාහනය අවම වශයෙන් වසර 5ක් සඳහා ගිවිසුම් ගත වී ලබා ගත යුතු අතර එහිදී වසර 5 තුළ වාහනයේ සම්පූර්ණ වටිනාකමට සමාන මුදලක් කුලී ලෙස ගෙවා දැමීමට සිදුවනු ඇත.

නමුත් එම වසර 5 අවසානයේ එම වාහනය රජයට අයත් නොවන අතර එම වාහනය සැපයූ පුද්ගලික සමාගමට හිමිකාරීත්වය ලැබේ. මෙහෙයුම් කල්බදු ක්‍රමයේදීත්, කුලී පදනමේ දීත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වාහනයක් කුලියට ගැනීමයි. එහෙත් මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී වාහනය කිලෝ මීටර් 1000ට වඩා අඩු ධාවන කාලයක් සහිත වීම අවශ්‍යතාවයක් ලෙස දක්වා තිබේ. අනෙක් පසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේත් මසකට ලැබෙන්නේ කිලෝ මීටර් 3000ක් පමණි. එවිට වැඩි වන සෑම කිලෝ මීටරයක් සඳහාම අමතරව විශාල මුදලක් පෞද්ගලික සමාගමට ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක මාසිකව කිලෝ මීටර් 3000 සීමාව ඉක්මවනු ඇත.

නමුත් අදාළ වාහන මෙම කුලී ක්‍රමයෙන් තොරව ලීසිං ක්‍රමයට (පෙර පැවති ක්‍රමය) ලබාගන්නේ නම් එහි දූෂණයකට කිසිදු ඉඩක් නැත. වාහනයේ අයිතිය වසර 5න් පසු රජයට හිමි වේ. මාසිකව ධාවනය කළ යුතු සීමා මායිම් නැත. එහෙත් අතිශය දූෂිත මෙහෙයුම් කල්බදු ක්‍රමය පිළිබඳ මෙතරම් චෝදනා එල්ල වී තිබියදීත් නව රජයද එම ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීමෙන් නව රජය කෙරේ ඇති ජනතා විශ්වාසය පළුදු වීමට එය හේතුවනු ඇති බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.


February 25, 2020

MCC අත්සන් කරන්න සූදානම් - රාවය පුවත්පත අනාවරණය කරයි.

පසුගිය යුගයේ මහත් ආන්දෝලනයට ලක්වුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව 'රාවය' පුවත්පත වාර්තා කර තිබේ.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අධ්‍යයනයක් කර නිර්දේශ ඉදිරිපත් කරන්නට ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ කමිටු ප්‍රධානී ආචාර්ය ලලිතසිරි ගුරුවරුන්ගෙන් අධ්‍යයන වාර්තාව පිළිබඳව 'රාවය' කළ විමසුමේදී ඒ බව තහවුරුවී ඇත.

'රාවය'ට පිළිතුරු ලබාදී ඇති ආචාර්ය ගුණරුවන් පවසා ඇත්තේ, ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළිදරව් කල නොහැකි බවය.

මේ වනවිට එම්සීසී ගිවිසුම පිළිබඳ අධ්‍යයනයේ අතුරු වාර්තාවක් රජයට භාරදී ඇති බවත් තව සිව්මසකින් අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බවත් පවසා ඇති ආචාර්යවරයා, අධ්‍යයන වාර්තාවේ අන්තර්ගත තොරතුරු, තොරතුරු පනත ප්‍රකාරව ඉල්ලා සිටියද ලබාදිය නොහැකි බව සඳහන් කර තිබේ.

එහෙත් මෙම ගිවිසුම් ගැන 2019 නොවැම්බර් 09 'දේශය' පුවත්පතේ වාර්තාවකට අනුව එවකට සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් නොදන්නා හෙයින් එය අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත්ය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් ඊමේල් ලිපියක් මගින් රාවයට දන්වා එවා ඇත්තේ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිදුකරන අධ්‍යයනය අගය කරන බවය.

රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ, එම්.සී.සී. ගිවිසුමේ අධ්‍යයන වාර්තාව නොබලා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

එම්.සී.සී. ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක මුදලක් හිමිවීමට නියමිතය. ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට ප්‍රධාන බාධක ලෙස පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා හඳුනා ගනිමින් ඒ සඳහා ව්‍යාපෘතීන් කීපයක් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ එම්.සී.සී. ගිවිසුම කිසිසේත්ම ක්‍රියාත්මක නොකරන බවට ජනතාවට පොරොන්දු විය. එහෙත් අද එය ජනතාවගෙන් වසන් කොට ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව තල්ලු වී ඇත.''

February 23, 2020

එයාර්බස් වංචාවට නාමල් සෘජුවම සම්බන්ධ බව අනාවරණය වෙයි.

කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, සේබර් විෂන් හෝල්ඩින් සමාගම අයත් නිමල් පෙරේරා මහතාගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ හෙළි විය.

නිමල් පෙරේරා මහතා නාමල් රාජපක්ෂ සමඟද සම්බන්ධයක් පවතින බැව් එහිදී කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළි විය. ඒ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින මූල්‍ය වංචා නඩුවකට මොහුගේද සම්බන්ධයක් පවතින බවයි. එසේම නිමල් පෙර්රා හා නාමල් රාජපක්ෂ අතර අවස්ථා කිහිපයකදීම මූල්‍යමය ගනුදෙනු සිදුව ඇති බවත් අනාවරණය වී ඇත.

මීට අමතරව නිමල් පෙරේරා විටින් විට නාමල් රාජපක්ෂ සමඟ දුරකථන ඇමතුම් හුවමාරු කරගන තිබෙන අතර ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කිරීම වැළක්වීම සඳහා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එයාර්බස් වංචාවේ මහා මොළකරුවන් අතර නාමල්ද සිටින නමුත් රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම නාමල්ව ආරක්ෂා කිරීමට උත්සුක හෙයින් නාමල්ගේ නම සැමවිටම සඟවා ඇත.

February 17, 2020

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවරීමට යයි.


මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරීමට හැකිදැයි සොයා බලන බව  ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පිරිස්වලට එරෙහිව කඩිනමින් නඩු පවරන බවට පවසා බලයට පැමිණිය ද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවැරිය හැකිදැයි සොයාබලන්නේ යැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(16) පැවැසීය.

මෙම ගනුදෙනුවේදී සේවක අර්ථසාක අරමුදල අවභාවිත වී ඇති බවට සාක්ෂි ඇතැයි ද ඒ අනුව මෙමගින් තමන්ට අගතියක් වී ඇති බවට ඕනෑම පුරවැසියකුට අධිකරණයට යාමට හැකි විය යුතු යැයි ද හඳුන්නෙත්ති මහතා අවධාරණය කර කීය.  

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවැසුවේ ලංකාදීප ‘සඳුදා හමුව’ දේශපාලන සංවාදයේදී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් බාහිර පාර්ශ්වයකට නඩු පැවැරීමේ හැකියාවක් තිබේදැයි කියා ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.

බැඳුම්කර ගනුදෙනුවට වත්මන් ආණ්ඩුවේ හිතෛශීන්ගේ නම් ද ගෑවී ඇතැයි කී හෙතෙම එමනිසා ආණ්ඩුව ඊට එරෙහිව නීතිමය පියවරවලට යනු ඇතැයි අපේක්ෂා කිරීමට අපහසු යැයි කීවේය.
පොදු ව්‍යාපාර කාරක සභාවෙන් හෙළිවන රාජ්‍ය මූල්‍ය දූෂණවලට එරෙහිව අධිකරණමය කටයුතු කඩිනම් කිරීමට නම් කාරක සභා රැස්වීම්වලට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් නිරීක්ෂණ මට්ටමින් සම්බන්ධ කරගත යුතු යැයි ද පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන්ගෙන් හා මැලේසියාවේ මහතීර් මොහොමඞ්ගෙන් එම ආදර්ශය ලංකාවට ගත හැකි යැයි හඳුන්නෙත්ති මහතා පැවැසීය.

පොදු ව්‍යාපාර කාරක සභාවෙන් හෙළිවන දූෂණවලට නඩු නොදමන්නේ ඒවාට නීතිමය පසුබිමක් නැති නිසා නොව දේශපාලන පසුබිමක් ඇති නිසා යැයි ද රජයට අගතියක් වූ අවස්ථාවක අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ නොවන්නේ නම් කාරක සභා හෙළිකිරීම්වලින් පලක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

රාජ්‍ය මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු යැයි ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය ක්‍රියාත්මක වීම සම්පූර්ණ වන්නේ නඩු පැවරීම් ද සිදුවුවහොත් පමණක් යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

February 16, 2020

අපිට මේ පාලමට ගියේ ලක්ෂ 05යි… වීරවංස අමාත්‍යාංශයට පුටුව ගන්නම ලක්ෂ 06ක් වියදම් කරලා…

ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මාරුවෙනකොට වාහන විතරක් නෙවෙයි පුටුවත් මාරුකරණවා. විමල් වීරවංස වාඩි වෙන්න අමාත්‍යාංශයට පුටුව අරගෙන තියෙන්නෙ රුපියල් ලක්ෂ හයක් වියදම් කරල. අපිට මේ පාලම හදන්න ගියේ රුපියල් ලක්ෂ පහයි යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (14) දෙනියාය කොළවෙනිගම ප්‍රදේශයේ දී පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත අරමුදලින් රුපියල් පන් ලක්ෂ විසි දහසක් (රු. 520,000) යොදවා කොලවෙනිගම පුස්සවෙල ග්‍රාම නිලධාරී වසමේ දඟර ගහ ඇළ හරහා යෙදූ කුඩා පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“‘මේ රට හදන්න ඕන නම් ගමයි මිනිස්සුයි වැඩ කරන මිනිස්සු ඔක්කොම එකතු වෙන්න ඕන. අද අපේ රටේ දේශපාලනඥයින් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. රටේ  සල්ලි ප්‍රශ්නයක් නැහැ. සල්ලි හොරකම් කිරිල්ලයි නාස්ති කිරිල්ලයි නැත්නම් මේ රට හදන්න පුළුවන්.

කෝටි 278ක් වියදම් කරලා හිටපු ආණ්ඩුවේ ඇමතිවරු වාහන අරගෙන තියෙනවා. අපේ හැම ආණ්ඩුවේ ඇමතිවරයෙකුටම රථ මේනියාව තියෙනවා. කලින් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරපු වාහනය අලුත් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරන්න කැමැති නැහැ.

ඔය රථ මේනියාව නැතුව කලින් ආණ්ඩුවේ ඇමැති පාවිච්චි කළ වාහනය අලුත් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කලා නම් ඔය රුපියල් කෝටි 278න් මේ වගේ ලක්ෂ පහේ කුඩා පාලම් 5,560ක් ලංකාව පුරා ඉදි කරන්න තිබුණා.

නලින්ද ජයතිස්ස සහෝදරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇහුවා කලින් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඇමතිවරු අවුරුදු පහට ගත්ත වාහන මොනවද කියලා. දැන් ඒ වාහන කෝ ඒවට මොකද උනේ කියලා. අපි මේක අහන්න දැන් CID එකට ගිහින් තියෙන්නේ.

මේ වගේ තමයි මේ රට නාස්ති කරන්නේ. වාහන විතරක් නොවෙයි අමාත්‍යංශ මාරුවෙනකොට ඇමතිවරු පුටුත් මාරු කරනවා. විමල් වීරවංසට වාඩිවෙන්න අරගෙන තියෙන පුටුවට ලක්ෂ 6ක් වියදම් කරලා. ඒ නිසා ජනතාව මේවා ප්‍රතික්ෂේප කරන්න ඕන. ජනතාව මේවා ප්‍රතික්ෂේප නොකරන තාක් කල් මේ අය මේ වැඩේ දිගටම සිදු කරනවා.

නිලධාරියෙක් සෘජුව කතා කරනකොට ඒක මැජික් එකක් නෙවෙයි.  අද ඒක මැජික් එකක් බවට පත්වෙලා තිබෙන්නේ එහෙම කතා කරන්න හැමෝටම බැරි නිසා.

රාජ්‍ය සේවය දේශපාලනඥයින් ඉස්සරහ කොන්ද කඩලා දණ ගස්සවලා තිබෙන නිසා තමයි අද දේවානි ජයතිලක මෙතරම් ප්‍රචලිත වෙලා තියෙන්නෙ. එතුමිය කරපු දේ විශිෂ්ටයි. ඒක විශිෂ්ට වෙලා තියෙන්නෙ වෙන අය එහෙම කරන්නේ නැති නිසා.

ඇමතිලාගේ ගෝලයෝ හිතාගෙන ඉන්නේ ඔක්සිජන් කියන්නේ හෙරොයින් වගේ දෙයක් කියල. අපේ ළමයි අද කුඩු ගහනවා ලිකයලා එතන ඉඳපු කෙනෙක් කියනවා. අද ඒ වගේ ඇමතිල නිසා තමයි මේ රටට මේ වගේ තත්ත්වයකට උදා වෙලා තිබෙන්නෙ. මේ තක්කඩි දේශපාලඥයින් විතරක් නෙවෙයි ජනතාවත් වගකියන්න ඕන. මොකද ඒ හැම කෙනෙක්ම පුටු පෙරලන් ගිහිල්ලා නෙවෙයි පාර්ලිමේන්තුවේ වාඩි වෙලා තිබෙන්නේ. ඒ හැමෝම මහ ජනතාවගේ ඡන්දය අරගෙන ගිහින් වාඩි වෙලා ඉන්නේ.” යැයි පැවසීය.


February 12, 2020

වියතුන් තමයි වැඩිපුරම හොරකම් කරන්නේ.. ඒනිසා නාමයෝජනා දෙන්නේ නෑ.

රටට වැඩියෙන්ම හානි සිදුකර ඇත්තේ සහ වැඩියෙන්ම හොරකම් කර ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් වැඩියෙන්ම තිබුණු අය විසින් බවත් අධ්‍යාපන සුදුසුකම් අඩුවෙන් තිබුණු අය රටට හානි කර ඇත්තේ අඩුවෙන් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊළඟට …. ඔය ගොඩක් අය, බොහෝ අය … ඒ කියන්නෙ ලංකාවෙ ඔය කොලිෆිකේශන් තියන අය තමයි වැඩියෙන්ම ලංකාවට හානි කරලා තියෙන්නෙ. කොලිෆිකේශන් අඩු අය ලංකාවට කරලා තියෙන්නෙ අඩු හානියක්.

කෙනෙක් විද්වතෙක් වෙන්නෙ සහතික වලින්ම නෙවෙයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි. උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවට වියත් මග සංවිධානය ගෙනයන ප්‍රචාරණය ඉතා අඥාන අදහසක් බව හුවා දක්වමින් හෙතෙම මේ බව පැවසුවේය.

එහෙත් ඇතැමුන් චෝදනා කරන්නේ පොහොට්ටුවේ සිටින සුපුරුද මැරයන්, කුඩුකාරයන් හා අපරාධකාරයන්ට නාමයෝජනා දීම සාධාරණීකරණය කිරීම සඳහා විමල් වීරවංශ මහතා මෙලෙස පවසන බවයි.

වංචාවේ සුල මුල එළියට: කබ්‍රාල්ගේ ඥාතීන් 4ක්ම බැඳුම්කර සමාගම්වල ඉඳලා.

අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ සමීප ඥාතීන් හතර දෙනෙකුම බැඳුම්කර මිලදී ගන්නා ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම්වල ඉහළ නිලතල දරා ඇති බව බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවී තිබේ. 

ඒ අනුව, 

අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් ආයනයේ අධ්‍යක්ෂවරියක් ලෙසත් 

අජිත් නිවාඩ් මහතාගේ සොයුරා වන අමල් කබ්‍රාල් මහතා කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් අජිත් නිවාඩ් මහතාගේ මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර තම්බයියා මහතා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් 

අජිත් නිවාඩ් මහතාගේ තවත් ඥාති සහෝදරයකු වන නිහාල් ෆොන්සේකා මහතා කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් එම කාල සීමාව තුළ සේවය කර ඇති බව සඳහන්. 

මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමටත් පෙර සිටම එම වාර්තාවට එරෙහිව පුවත්පත් පිටු ගණන් ලිපි ලියමින් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා දැඩි විරෝධයක් දක්වා තිබීම ද විශේෂයක් විය. 

වියත් මග සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වන ඒ මහතා මේ වනවිට අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස මෙන්ම "අපි වෙනුවෙන් අපි" අරමුදලේ සාමාජිකයකු ලෙස ද පත් කර තිබේ. 

February 11, 2020

අපේ ගිණුම් වලට ඩොලර් මිලියන 2ක් ඇවිත් කියලා අපි දැනන් හිටියේ නෑ – ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ රහස් පොලිසියට පවසා ඇත්තේ විජේනායකගේ නම හෝ කපිල චන්ද්‍රසේනගේ නමින් විවෘත කරන ලද ගිණුම හෝ වෙනත් ගිණුම් වෙත මාරු කිරීම පිළිබඳව තමන් නොදන්නා බවයි.

මෙම නඩුව බ්‍රහස්පතින්දා විභාගයට ගත් අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිතා මුදලිගේ මහතා කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත හෙළි කළේය.

2013 වසරේදී ශ්‍රීමත් ලංකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් ලැබී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බව අධිකරණයට දන්වා තිබේ. අධිකරණය විසින් පෙබරවාරි 19 වනදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

දූෂණය මැඩපැවැත්වීමට රජය උනන්දුවක් දක්වන බවත්, ඕනෑම අලාභයක් සඳහා ජනතාවට නිසි වන්දි ගෙවීමට රජය උපරිම උත්සාහයක් ගන්නා බවත් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිකුරාදා පාර්ලිමේන්තුවට පැවසීය.

පසුගිය සතියේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා කියා සිටියේ, නියාමකයින් සමඟ දූෂණ විමර්ශනයක් සමථයකට පත් කිරීමට එයාර් බස් එකඟ වීමෙන් පසුව ශ්‍රී ලංකන් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන බවයි.

ශ්‍රී ලංකාවේ ණය බරින් යුත් භාණ්ඩාගාරයේ විශාලතම බර ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගටම පවතී. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රු. බිලියන 17.2 ක් පමණක් 2018 වර්ෂය සඳහා (මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව, 2018). අද වන විට ගුවන් සමාගම විසින් රු. 2009 දී ජනසතු කිරීමෙන් පසු බිලියන 169 කි.

February 6, 2020

රටේ අනාගතය සුබයි - තවත් යෝජනාවක් සම්මතයි; භාෂාව නිසා ජාතීන් අතර අසමගිය ඇති වීම වැළැක්වීමේ යෝජනාවක්; සිංහල අනිවාර්යය විෂයක් කර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල්වල උගන්වන්න යයි

රටේ අනාගතය සුබයි - තවත් යෝජනාවක් සම්මතයි; භාෂාව නිසා ජාතීන් අතර අසමගිය ඇති වීම වැළැක්වීමේ යෝජනාවක්; සිංහල අනිවාර්යය විෂයක් කර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල්වල උගන්වන්න යයි

රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.

කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මේ බව පැවසීය.

නිදහස ලැබීමට පෙර මෙරට තුළ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වැඩකටයුතු කළ බවත්, නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල සහ දෙමළ ජාතික භාෂාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් ජාතීන් අතර අසමඟිය හටගැනීම ආරම්භ වූ බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

February 3, 2020

මගී සූරාකෑමකට තිත! ගුවන්තොටුපළට නොමිලේ 24 පැය බස් සේවාවක්!


කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ඊයේ (30) දින සවස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .

මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02ක් , දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා තිබේ .

මීට පෙර අවස්ථාවවල බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන් , තම ගමන් මලු රැගෙන , මෙම දුර පා ගමනින් , අව් වැසි මැද දුෂ්කර ගමනක යෙදුණු අතර , මෙසේ අපහසුතාවට පත් වි සිටි ගුවන් මගීන් ත්‍රිරෝද රථ සහ කුලි  රථ රියැදුරන් විසින් විශාල මුදල් අයකර ගුවන් තොටුපළ වෙත රැගෙන යෑම ද සිදු කළහ .

මේ තත්ත්වය ජනාධිපතිතුමා වෙත වාර්තා වීමෙන් පසුව ,  එතුමාගේ නිර්දේශ මත  මෙම නව බස් රථ සේවාව ආරම්භ වී තිබේ .

January 29, 2020

මහින්දානන්ද අලුත්ගමගේ ගෝඨාත් එක්ක සෙංකඩගල උරුමයට කෙළින්න යන හැටි මෙන්න


මහ නුවර නගරය යනු ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ශුද්ධ වූ නගරයයි. උතුම් දළදා වහන්සේ වැඩ සිටින කන්ද උඩ රට රාජධානිය ඈත අතීතයේ සිටම මුළු ලෝකයේම බෞද්ධයාගේ අවධානය දිනාගත් නගරයයි.

සිංහල දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ සියලු ජාතීන් එකට සහජීවනයෙන් ජීවත් වෙන මෙම නගරයේ අති බහුතරය සිංහල බෞද්ධයන්.

ඉංග්‍රීසීන්ට 1815දී ශ්‍රී ලංකාව යටත් වීමෙන් අනතුරුව මිෂනාරි අධ්‍යාපනය පහත රට මෙන්ම උඩ රට රාජධානිය තුළ ප්‍රචලිත කිරීමට ඉංග්‍රීසි පාලනය කටයුතු කළා.

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මහ නුවර ධර්මරාජ විද්‍යාලය බෞද්ධ පාසලක් ලෙස දළදා මාලිගාවට යාබදව නාථ දේවාල භූමියෙන් ආරම්භ කිරීමත් සමග මිෂනාරි අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ කිතුනු පාසලක් ලෙස ශාන්ත පාවුළු විද්‍යාලය ධර්මරාජ විද්‍යාලයට යාබද ඉඩමේ ඉංග්‍රීසි පාලකයන් විසින් ආරම්භ කරන ලදී.

මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් 1948දී ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශාන්ත පාවුළු දේවස්ථානය පවත්වා ගෙන යන ශාන්ත පාවුළු විදුහල එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස සෑම රජයකින් ඉල්ලීම් කළද ඒ සැබෑ කර ගැනීමට නොහැකි විය.

1988දී බලයට පත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා මල්වතු අස්ගිරි මහ නාහිමි වරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ශාන්ත පාවුළු විදුහල මෙන්ම ධර්මරාජ ප්‍රථමික අංශය ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ශාන්ත පාවුළු විද්‍යාලය වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය නමින් බෞද්ධ පාසලක් බවට පරිවර්තනය කොට ධර්මරාජ ප්‍රාථමිකය ප්‍රධාන පාසල පැවැත්වෙන වැලිකඩ ප්‍රදේශයට ගෙන යන ලදී.

මහ නුවර නගරයේ ජීවත් වෙන දෙමළ සිසු දරුවන් හින්දු විද්‍යාලයේ සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ඉගෙනුම ලබයි.මුස්ලිම් දරුවන් සඳහා වෙන් වූ එකම පාසල දුර්දීන් විද්‍යාලය යි.

ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම් දරුවන් සඳහා නගරයේ තිබෙන ප්‍රධාන පාසල් සියල්ලටම ඇතුලත් වීමේ හැකියාවක් නිර්මාණය කර දී තිබෙනවා. ධර්මරාජ සහ මහාමායා බාලිකා විද්‍යාලය හැරෙන්නට සෙසු සෑම පාසලකම මුස්ලිම් දරුවන්ට ඇතුලත් වීමේ පහසු කම සලසා දී තිබෙනවා.

නමුත් මෙම පාසල් වල දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් සිදු නොවන අතර ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් මෙම පාසල් තුළ අධ්‍යාපනය හැදෑරිය හැකි ය.

මුස්ලිම් දරුවන්ට මුස්ලිම් ආගම සහ දර්ශනයට ගැළපෙන ඔවුන්ටම ආවේණික වූ පාසලක අවශ්‍යතාවය මහනුවර නගරයේ කලක සිට පැවතුණ කරුණකි.

ආගම සහ ජාතිය පදනම් කොට ගත් පාසල් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොකළ යුතුයි, යන්න සංහිදියාව වෙනුවෙන් ලෝකයේ පෙනී සිටින විද්වතුන් සහ සංවිධාන ඉදිරිපත් කරන ප්‍රධාන කරුණකි.

කෙසේ වෙතත් මහනුවර නගරයේ වාසය කරන ‍ව්‍යාපාරික මුස්ලිම් ප්‍රජාව තම ජන වර්ගයාට තම ආගමට අනුව ඉගැන්වීම් කළ හැකි මුස්ලිම් පාසලක් ඉල්ලා සිටීම අත් හැරියේ නැත.

මුස්ලිම් දරුවන්ට ආගම අනුව අධ්‍යාපනය හැදෑරීමට මුස්ලිම් පාසලක් මහනුවර ඉදි කිරීමට යන බවට වූ කතිකාවත කරලියට එන්නේ පෞද්ගලිකව මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් හමුවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී  වරයා විසින් කළ ප්‍රකාශයක් අනුවයි.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදු පෙරමුණ පක්ෂය සඳහා මුස්ලිම් ජනතාවගේ ඡන්ද පදනම 10% - 15% ත් අතර තිබෙන බවත්,එය 25%ක් දක්වා වර්ධනය කර දුනහොත් මහ නුවර නගරයට ස්ථීරවම මුස්ලිම් පාසලක් ඉදිකර දෙන බවටත් පොරොන්දුවක් විශ්වාස වන්ත ලෙස මුස්ලිම් ජනතාවට ලබා දෙන බවයි.

මහ නුවර නගරයේ පාසලක් ඉදි කිරීමට ඉඩ කඩක් නොමැති බව බොහෝ දෙනා දන්නා කරුණකි.

මහ නුවර පූජනීය නගරයක් නිසා බෝගම්බර සිර ගෙදර මෙන්ම දළදා මාළිගාවට යාබදව පැවැති රිමාන්ඩ් සිර මැදිරිය මහ නුවර නගරයෙන් පිටතට ගෙනගොස් පල්ලෙ කැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.

බෝගම්බර සිර ගෙදර තිබෙන භූමියට නාගරික සංවර්ධන අධිකාරිය මහ නුවර නගරයට උචිත නගර සැලසුමක් නිර්මාණය කොට තිබේ.

මහ නුවර රිමාන්ඩ් බන්ධනාගාරය යනු ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිල්ලකි. අතීතයේ ඇහැලේපොළ මහා අධිකාරම් තුමා වාසය කළ වලව්ව ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ බන්ධනාගාරයක් බවට පත් කරන ලදී.

කෙසේ වෙතත් රිමාන්ඩ් බන්ධනාගාරය මෙම වලව්වට හිමි ඉඩමෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මහනුවර නගරයේ දැනට යම් සංවර්ධන කටයුත්තක් කිරීමට ඉතුරුව තිබෙන විශාලතම භූමි භාගය මෙයයි. මද්දුම බණ්ඩාර නම් ජාතික වීරයා හැදුණු වැඩුණු නිවස මෙම ඇහැලේපොළ වලව්වයි.

පුරා වසර ගණනක් මහ නුවර නගරයේ මුස්ලිම් ජනතාව මුස්ලිම් දරුවන් සඳහා තම ආගම අනුව ඉගෙන ගැනීමට පාසලක් ඉල්ලුව ද එය ඉදි කිරීමට නිසි ඉඩමක් නොමැති විම නිසා මෙම යෝජනාව දිගින් දිගටම මඟ හැරී ගියේය.

ඇහැලේපොළ වලව්වේ රිමාන්ඩ් බන්ධනාගාරය ඉවත් කිරීමෙන් අනතුරුව හිර ගෙදරක් වසා පාසලක් විවෘත කිරිම යන සංකල්පය යටතේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් රජයට සහ දේශපාලනඥයන්ට මෙම ඉඩමේ මුස්ලිම් පාසලක් ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

නමුත් මෙම වලව්ව ජාතික උරුමයක් ලෙස සලකා සංවර්ධනය කොට කෞතුකාගාරයක් බවට පත් කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා.මෙම වලව්වට හිමි භූමි ප්‍රමාණය අති විශාලයි.ඇහැලේපොළ වලව්ව ජාතික උරුමයක් ලෙස සංරක්ෂණයෙන් පසු බැම්මකින් වෙන් කොට එම වලව්ව ආශ්‍රිතව තිබෙන භූමි ප්‍රමාණයේ පාසලක් ඉදිකරන ලෙස බොහෝ අවස්ථා වල මුස්ලිම් ප්‍රජාව දේශපාලනඥයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙය සුදුසු කාරණයක් නොවන බව තේරුම් ගත්‍ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් මෙම යෝජනාවට කැමැත්තක් දක්වා නැහැ.

නමුත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී වරයා මහ නුවර නගරයේ මුස්ලිම් ප්‍රජාව හමුවේ පෞද්ගලිකව කළ ප්‍රකාශය අතිශයින්ම අවධානයට යොමු කළ යුතු මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

ඔහු ස්ථීර වශයෙන්ම 25% ක ජන පදනමක් මුස්ලිම් ප්‍රජාවගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ගොඩ නඟා දුනහොත් නියත වශයෙන්ම මුස්ලිම් පාසලක් මහ නුවර නගරයේ ඉදි කරන බව ඔහු පොරොන්දු වෙනවා.මහ නුවර නගරයේ මුස්ලිම් ජනතාවට තම ආගම සහ ජාතියට අනුව අධ්‍යාපනය හැදෑරීමට ඉතිරිව තිබෙන්නේ එකම පාසලකි. එම නිසා තවත් මුස්ලිම් පාසලක් මහ නුවර නගරයේ ඇති කර ගැනීමට දැඩි උවමනාවක් ඔවුන් සතුව පවතී.

මෙය අවබෝධ කර ගත් මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍ රීවරයා අදාල පාසල මහ නුවර නගරයේ ඉදි කිරීමට ස්ථිර පොරොන්දුවක් ලබා දෙනවා.මහ නුවර නගරයේ පාසලක් ඉදි කිරීමට ප්‍රමාණවත් ඉඩමක් නොමැත. ඉතිරිව ඇති එකම ඉඩම ද දළදා මාලිගාවට යාබද රජ ගෙදරට මායිම්ව පිහිටා තිබෙන මද්දුම බණ්ඩාර ජාතික වීරයා හැදුණු වැඩුණු සෙල්ලම් කළ ඇහැලේපොළ වලව්වයි.

එසේ නම් නුවර මුස්ලිම් ප්‍රජාව දීර්ඝ කාලයක් සිට බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලා සිටි මුස්ලිම් විද්‍යාලය ඉදි කිරීමට යන්නේ මෙම භූමි ප්‍රදේශයේ ද?

දෙවැනි කාරණය යම් හෙයකින් පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ අභිලාෂයෙන් මෙවැනි පොරොන්දුවක් ඍජු හෝ වක්‍ර ව මුස්ලිම් ප්‍රජාවට ලබා දුනහොත් එය ජාතික අපරාධයකි. එමෙන්ම මුස්ලිම් සහ සිංහල ජනතාව අතර ලොකු ගැටළුවක් ඇති කරන ප්‍රශ්ණයකි.

මුස්ලිම් ජනතාවට තම ජාතිය සහ ආගම අනුව අධ්‍යාපනය හැදෑරීමට පාසලක් අවශ්‍යම නම් දිගන ප්‍රදේශයේ හෝ කටුගස්තොට ප්‍රදේශයේ එසේත් නැති නම් ගැටඹ ප්‍රදේශයේ සුදුසු ඉඩමක් සොයා පාසලක් ඉදි කළ හැකිය.

මහ නුවර නගර සීමාව තුළම පාසලක් යම් විදිහකින් ඔවුන් ඉල්ලා සිටිනවා නම් කිසි ලෙසක ඇහැලේපොළ වලව්වේ භූමි ප්‍රමාණය ඒ සඳහා උපයෝගී නොකර ගැනීමට බලයට පත්වන ඕනෑම පාලකයෙක්ට වගකීමක් ඇත.
Source: lankanewsweek.com

January 25, 2020

මධ්‍යසාර සහ අධික උෂ්ණත්වයෙන් කොරොනා වෛරසය විනාශ කළ හැකි බව වෛද්‍යවරුන් සොයා ගනියි

බෝවන රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන රාජ්‍ය රසායනාගාරයේ චීන අධ්‍යක්ෂ ලී ලින්ජුවාන්, දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය සොයාගත් පළමු විද්‍යඥයා වන යා වන ෂොං නන්ෂාන් සමඟ වුහාන් වෛරසය පිළිබඳව අධ්‍යයනය කළ බව ප්‍රකාශ කර සිටි.

(SARS) 2002 දී ලෝකය අල්ලා ගත් කිරීටක වයිරසය සහ ඔහුගේ තවත් ප්‍රවීණයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ දක්වා පැතිර ඇති රෝග පිළිබඳ අධ්‍යනය කරනු තිබෙන ප්‍රවිණයන් ය.
ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ මෙම වෛරසය අධික උෂ්ණත්වයක් සහ ඇල්කොහොල් භාවිතයෙන් මර්දනය කර හැකි බව ය.ඔවුන්ගේ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කිරීටක වයිරසයක් වන වුහාන් වෛරසයට 57 ° C ට වඩා වැඩි උෂ්ණත්වයක නොනැසී පැවතිය හැකි බවත් මිනිත්තු 30 කින් එවැනි පරිසරයකදී මිය යන බවත්ය.75% ක් එතනෝල්, ක්ලෝරීන් අඩංගු විෂබීජ නාශක සහ පෙරොක්සියා ඇසිටික් අම්ලය ද මිශ්‍රණය වෛරසය තුරන් කිරීම සඳහා ඉතා ඵලදායී බව ඔවුන් සොයා ගෙන තිබේ.

January 24, 2020

2005 – 2015 බැඳුම්කර වලින් රජයට වූ පාඩුව රු. කෝටි 1047ක්

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාවේ ඇතැම් කොටස් අඩුවීමේ වගකීම කථානායකවරයාට පවරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළා.

ඊට පිළිතුරු දෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

“එතෙන්දි ඒගොල්ලො කිව්වා මහබැංකුවෙන් ලියුමක් දුන්නා කියලා, ඒ ලියුමෙ කියලා තියෙනවා කියලා ඇමුණුම් ටික දෙන්න නම් නීතිපතිවරයාගේ අනුමැතියක් අවශ්‍යයයි කියලා. එතැනයි ගැටළුව තියෙන්නෙ.

මම දැන් පළවෙනි වාර්තාව කියවන ගමන් මේ ඉන්නෙ. එක්සෙකටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකල් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා” යනුවෙන් පවසා සිටියා.

2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 689කට ආසන්න මුදලක් ලෙස ගණන් බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද මේ වනවිට අධිකරණය හමුවේ පවතී.

2015 සිදු වූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුවට එවකට පැවති රජය වගකිවයුතු සේම 2005 සිට 2015 දක්වා සිදුකර ඇති රුපියල් මිලියන 10,470ක් පමණ වූ රජයට සිදු වූ පාඩුවට එවකට ජනපති මෙන්ම අගමැතිවරයාද, මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාද වගකිවයුතු බව ජනතා අදහසයි

January 22, 2020

නාමයෝජනා ඉඩ බොහෝම සීමිතයි. වියත් මඟට දෙන ගාණක් කියන්න බෑ - රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබාදිය හැක්කේ ඉතාම සීමිත පිරිසකට පමණක් බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මඟ සංවිධානයට ඉන් කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේදැයි සංඛ්‍යාත්මකව කිව නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

"නෑ, එහෙම අංක ගණන් කිව්වොත් එහෙම ඒක මේ කතිකාවක් විතරයි. දැන් සාමාන්‍යයෙන් ගත්තම දිස්ත්‍රික්කයක තියෙන්නෙ ඉතාම සීමිත සංඛ්‍යාවක්. දැන් කළුතර දිස්ත්‍රික්කය ගන්නකො. මං ඉන්න දිස්ත්‍රික්කෙ 13 දෙනෙක් තමයි පාර්ලිමේන්තුවට තරග කරන්න පුළුවන්කම තියෙන්නෙ. දැනටම පස් දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. ඉතිං එතකොට ඉතාම ස්වල්පයක් තියෙන්නෙ. ඒකෙදි අපි කොහොමද බලනවා මේක ක්‍රියාත්මක කරන්නෙ කියලා" යනුවෙනුයි ඒ මහතා සදහන් කළේ. 

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

ණය වාරික ගෙවන්න සල්ලි නෑ, චීනයෙන් ඩොලර් මිලියන 100ක ණයක්

රටේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි දැඩි මූල්‍ය අර්බුධය හමුවේ චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන

1000 ණය මුදලක් ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීන සංවර්ධන බැංකුවෙන් ණය ගැනීමට අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලයට යොමුකර ඇත.

2020 වර්ෂය සඳහා විදේශ අනුමැතිය කාලීන මුල්‍ය පහසුකම් ලබාගැනීම යනුවෙන් නම් කරන ලද එම කැබිනට් පත්‍රිකාවට පසුගිය ජනවාරි 14 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත.

එම ණය ගැනීම සඳහා පහසුකම් වශයෙන් දක්වා ඇත්තේ, 2020 ජනවාරි සිට අප්‍රේල් දක්වා ණය හා පොලි ආපසු ගෙවීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1195ක් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ගෙවීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 568ක් අවශ්‍ය වීමත්, රජය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති සඳහා විදේශ මුදල් අවශ්‍යතාවන් පැවතීමත්ය.

මෙම ණය මුදල ගැන සාකච්ඡා කිරීම මේ තීරණයට අත්පුඩි ගසන අය අත්පුඩි ගැසීමට පෙරත් ඒ ගැන කල්පනා කළ යුතුය. මන්ද මේ අණ නීතියට පිටින් පැතිරී යා හැකි බැවින්ය.

 

පරණ ණය අලුත් කිරීම

චීන සංවර්ධන බැංකුවේ ඉහළ පෙළේ නිළධාරී කණ්ඩායමක් ජනවාරි 03 හා 04 දිනවල ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවු බවද එම නියෝජිත පිරිස ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සකසා බලා ඊට යහපත් ප්‍රතාචාර දැක්වු බවද කැබිනට් සංදේශයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය 2018 වර්ෂයේදී  චීන සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට එළැඹී ඇති අතර ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය පමසුකම් ලබාගෙන ඇත.

කැබිනට් සංදේශයෙන් යෝජනා කර ඇත්තේ එම ණය ගිවිසුමේ සඳහන් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2000 දක්වා වැඩිකිරීමට හෝ චීන සංවර්ධන බැංකුව සමග නව ණය ගිවිසුමකට එළඹීමට කටයුතු කළ යුතු බවය.

 

මුදල් ඒකක වෙනස් කරයි

ඊට අමතරව චීනය සමග ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා 2017 වර්ෂයේ දී එළැඹුණු ඇමෙරිකානු ඩොලර් 242,644,617ක සහන ණය ගිවිසුම චීන යුආන් රෙන්මින්ඩ් (ආර්එම්ඩී) මුදල් ඒකකයට පරිවර්තනය කිරීමටත්, චීනය සමග ඇති අනෙකුත් ණය ගිවිසුම් යුආන් රෙන්මින්ඩ් මුදල් ඒකකයට පරිවර්තනය කිරීම සඳහාත් එම කැබිනට් සංදේශයෙන් අවසර ඉල්ලා ඇත.

ණය මුදලේ ප්‍රමාණය, ණය ලබා ගැනීමේ වාර ගණන, කල් පිරීම, මුදල් වර්ගය, පොලි අනුපාතය හා ණය කොන්දේසි තීරණය කිරීම ඇතුළු චීන ණය ගිවිසුම ඉහළ නැංවීම සඳහා සාකච්ඡා කර අවසන් කිරීමට කමිටුවක් ස්ථාපිත කර ඇති අතර එම කමිටුවේ සහාභාගීත්වය දරන්නේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායකය.

සෙසු සමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.එම්. ඒ. රත්නායක, විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.ඒ.එස්. අතුල කුමාර , මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කපිල සේනානයක, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය පිළිබඳ සුපරීක්ෂක ආචාර්ය එම්.ඉසෙඩ්. එම් .අසීස් , විදේශ සම්පත් දෙපාර්තුවේ අධ්‍යක්ෂ ( ප්‍රාග්ධන වෙළඳපල) , එම්.ටී.අයි.ටී. අමරසේකර හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.ඒ.එල් උදයකුමාර පත්කර ඇත.

(උපුටා ගැනීම -අනිද්දා - ලසන්ත රුහුණගේ)